ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිර කැටි ගැසීම් සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

අදාළ එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පසුගිය දිනවල රුධිර කැටි ගැසීම් වාර්තා වුණා. ඒ හේතුවෙන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයක් පියවර ගනු ලැබුවා. යුරෝපා සංගමයට අයත් රටවල් සහ බි්‍රතාන්‍යයේ පමණක් පුද්ගලයින් මිලියන 17 කට පමණ මේ වනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදී ඇති අතර, ඒ අතරින් පුද්ගලයින් 40 දෙනෙකුට පමණ රුධිර කැටි ගැසීම් සිදුව ඇතැයි වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ විශේෂඥයින් පවසන්නේ, එම සිද්ධීන් සාමාන්‍යයෙන් ජනගහනය අතරින් වාර්තා වන රුධිර කැටි ගැසීම් සංඛ්‍යාවට වඩා වැඩි නොවන බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම විශේෂඥයින් අද රැස්වීමට ද නියමිතව තිබෙනවා.

යුරෝපීය ඖෂධ නියෝජිතායනය ද අද දිනයේ රැස්වී ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් සාකච්ඡා කර, ලබන බ්‍රහස්පතින්දා දිනයේදී එහි නිගමනවලට එළඹීමට නියමිතයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත අඛණ්ඩව භාවිත කළ යුතු බව යුරෝපීය ඖෂධ නියෝජිතායනයේ ද අදහස වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.