එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ සේවාව යළි ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශිවීම් වැලැක්වීම සදහ එම සේවාව ඉකුත් සමයේ තාවකාලිකව නතර කෙරුණා.
යම් පුද්ගලයෙකු ජාතික හැදුනුම්පත ලබාගැනීම සදහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්‍ෂා කරන්නේ නම් දිනයක් හා අංකයක් වෙන් කර ගැනීම අනිවාර්යය බවයි ප්‍රකාශ කෙරුණේ. ඒ සදහා සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමුවීමෙන් හෝ 011 5 226 126 හෝ 011 5 226 100 යන දුරකතන අංක ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකියි.
කෙසේවෙතත් සාමාන්‍ය සේවය යටතේ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ට තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමු කළ හැකි බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුවට ලැබීමෙන් පසු ජාතික හැදුනුම්පත් මුද්‍රණය කර ලියාපදිංචි තැපෑල හරහා ඉල්ලුම්කරු වෙත යොමු කෙරෙනු ඇති.