මේ මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

සැකකාර ගුරු උපදේශකවරයා බාල වයස්කාර දැරියක් කෘරත්වයට පත් කර තුවාල සිදුකිරීමේ චෝදනාව මත හොරොව්පතාන පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකි.

බාල වයස්කාර දැරියගේ දෙමාපියන් දියණියට අදෘෂ්‍යමාන බලවේගයක් ශරීරගතව තිබෙන පවසමින් අදාළ ගුරු උපදේශකවරයා විසින් ඔහුගේ මොරකෑව  පිහිටි නිවසේ පවත්වා ගෙන යන දේවාලයට මීට සති කිහිපයකට උඩදී දැරිය රැගෙන ගොස් ඇති අතර එහිදී ශරීරගතවී සිටින යක්ෂයා එළවා දැමීම සඳහා යකැදුරා (සැකකාර ගුරු උපදේශකවරයා)  යකඩ කම්බි කූරක්, කපුරු සහ පොල්කටු ගින්නෙන් රත්කර දැරියගේ කකුලේ යටිපතුල් මත තබා පුලුස්සා වේවැලකින් අමානුෂික ලෙස පහර දී ඇත.

මෙම ශාන්ති කර්මය සිදුකරන අවස්ථාවේ දැරියට සිහිසුන් වී ඇති අතර පසුව පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා දීමට දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලටද ඇතුලත් කර ඇත.

සැකකාර ගුරු උපදේශකවරයා පසුගිය 14 වැනි දා කොළඹ ප්‍රදේශයෙන් නිතීවරුන් සමග විත් අධිකරණයට භාර වූ අතර අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ අංක 06,ජන උදාන ගම්මානය, මොරකෑව ලිපිනයේ පදිංචි මොරකෑව මහා විදුහලේ ඉංශ්‍රිසී ගුරු උපදේශකයෙකු වශයෙන් සේවය කරන කට්ටඩියෙකු යැයි කියා ගන්නා රාජපක්ෂ මුතුනායකගේ ධර්මසිරි ජයලත් යන අයයි.