රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රායිපූර්හිදි අද පැවැත්වෙනවා. ඒ, තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජොන්ටි රෝඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට පළමු ස්ථානය හිමිවීමට නියමිත වුව ද තරග සංවිධායකයින් ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව එම සටහනේ දෙවන තැනට පත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගත් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මූලික වටයේදී තරග 6 කට එක්වෙමින් ජයගත් තරග සංඛ්‍යාව 5 ක්. ඔවුන් මෙම වසරේ පැවැති සියළු තරග ජය ගත් අතර පරාජයට පත්ව ඇත්තේ ඉකුත් වසරේ පැවති ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගය පමණයි. දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම මූලික වටයේ තරග 6 කට එක්වෙමින් තරග 4 ක් ජය ගත්තා. මූලික වටයේදී දෙපිල අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායම, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කළේ කඩුලු 9 කින්. එම තරගයේදී දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් ඉනිම ලකුණු 89 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් පන්දු යවන්නන් සමත් වුණා.

මෙවර තරගාවලියේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු ලාභීන් සහ කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගෙන සිටිනවා. ඒ, තරග 6 කදී ලකුණු 232 ක් ලබා ගනිමින් සහ කඩුලූ 12 ක් දවා ගනිමින්. අද තරගයට ද සනත් ජයසූරියගේ සහභාගිත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. ඒ, ඔහුගේ ආබාධ තත්වය තවමත් සුව නොවීම හේතුවෙන්. මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රි 7ට ආරම්භවීමට නියමිතයි.