පාර්ලිමේන්තුව මුල සිට ම දැරූ මතය අධිකරණය මගින්ද තහවුරු කිරීම ධෛර්යක් බවත් ඒ වෙනුවෙන් උත්තරීතර අධිකරණයට ප්‍රණාමය පුද කරන අතරම පාර්ලිමේන්තුවට හා කථානායකවරයා ලෙස තමන්ට මෙතෙක් කරන ලද අභූත හා අසාධාරණ චෝදනා ඊයේ (03) දිනයේදී අධිකරණය මගින් ලබාදුන් නියෝගයත් සමග නිශ්ප්‍රභා වී ඇති බව කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් මෙන්ම අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත දේශීය හා විදේශීය ව්‍යවස්ථා විශාරදයින්ගේද උපදෙස් අනුව සිදුවූ බව වගකීමෙන් යුතුව සඳහන් කරන බවත් එසේ හෙයින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම කථානායකවරයාගේ ක්‍රියා කලාපය තුළින් අපේක්‍ෂා නොකෙරුණු අතර හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගනු ලැබූ බව මෙම නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

මෑත අතීතයේ දී රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික යහපැවැත්ම පිරිහී ඇති බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඊළඟ පාර්ලිමේන්තු සැසියෙන් පසු පාර්ලිමේන්තුව නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සියලු පක්ෂ නායකයින් අත්වැල් බැඳ ගත යුතු බවයි මෙහිදී කථානායකවරයා අවධාරණය කර සිටින්නේ.