ballot-papers

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද (19 දා) ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

මීට අදාළ ගැසට්‌ නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කෙරේ.

ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය සම්පූර්ණ වීමට වසර දෙකක්‌ ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා මෙලෙස ජනාධිපතිවරණයකට යනු ඇත.

ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයට අදට (19 දා) වසර හතරක්‌ සම්පූර්ණවේ.

මේ අනුව ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු හෙට (20 දා) සිට මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් සිදු කිරීමට නියමිතය.

මේ අතර පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදුකරන ලබන (2015) ජනවාරි මස 13 වැනි දිනට දින 10 කට පෙර එනම් 03 වැනිදා වනවිට ජනාධිපතිවරණය පවත්වා අවසන් කරන ලෙසට රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු කර ඇති ඉල්ලීම් හේතුවෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයට මුහුණ පා ඇතැයි වාර්තාවේ.

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්‌වරයා තම නිලධාරීන් කැඳවා උපදෙස්‌ ලබාදී මූලික ක්‍රියාමාර්ග ගත්තද කෙටි කලක්‌ ඇතුළතදී ජාතික මැතිවරණයක සියලු කටයුතු සිදුකළ නොහැකි බව ඔවුන් කොමසාරිස්‌වරයාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

වසර අවසානයේ උත්සව සමයක්‌ බැවින් රජයේ නිලධාරීන් කැඳවීම අසීරු බවද ජාතික මැතිවරණයකදී කළ යුතු රාජකාරි කටයුතු අති විශාල බැවින් ඒවා හදිසියේ සිදු කළ නොහැකි බව නිලධාරීන් දැනුම්දීම නිසා මැතිවරණ කොමසාරිස්‌වරයාද අපහසුතාවයට පත්ව ඇති බවද පැවසේ.