බම්බලපිටියේ ඩිෆෙන්ඩර් රථ අනතුර සම්බන්ධයෙන් රථයේ හිමිකරු සහ පිටුපසින් පැමිණි ජීප් රථයේ සිටි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව  අනතුරකට ලක් කර පළා ගිය සිදුවීම ඊයේ (24) දින බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. එම සිදුවීමෙන් පසු පොලිසිය විසින් සිදුකළ කඩිනම් විමර්ශන හමුවේ පොලිස් ස්ථානාධිපතිවරයා හප්පා පළා ගිය  ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසකින් සොයා ගැනීමට හැකියාව ලැබුනා.

ඉන් අනතුරුව  ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයෙකුගේ පුත‍්‍රයා ඊයේ (24) පස්වරුවේදී පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනා. එහිදී සැකකරුගෙන් රුධිර සාම්පලයක් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සහ දැරුවද ඔහු ඊට විරෝධය පළ කරමින් පොලිසියට බාධා කර ඇති බව සඳහන්. කෙසේවෙතත්  සැකකාර පුත‍්‍රයා අද (25)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අනතුර සිදු වන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථය තුළ කොළඹ ප‍්‍රධාන පාසලක සිසුන් සිව්දෙනෙකු සිටි බවටද අනාවරණ වී තිබෙනවා. ඒ අතර ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ පුත‍්‍රයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. එසේම අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩරය පිටුපසින් තවත් ජීප් රථයක් පැමිණ ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුද  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.