2022 වසරේදී ලක්ෂ 3කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව දෙලක්ෂ 99,934 ක්. ඒ අතරින් එක් ලක්ෂ එක් දහස් 786 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇත්තේ නුපුහුණු ශ්‍රමිකයින් ලෙසයි.

පුහුණු ශ්‍රමිකයින් ලෙස 88,215 සහ ගෘහ සේවිකාවන් ලෙස 73,781 විදේශ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා. ඒ අතරින් 23,407ක් පිටව ගොස් ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මාසය තුළ දීයි. 

මේ අතර 2022 වසරේ අග භාගයේ දී කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළ ද, සමස්ත 2022 වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අඩු වී තිබෙනවා.

සමස්තයක් ලෙස 2022 වසරේ දීම මෙරටට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 3,789 පමණයි. එය 2021 වසරේ දී පැවති අමෙරිකානු ඩොලර් මිලියන 5,491ට සාපේක්ෂව සියයට 31 ක අඩුවීමක්.

2022 වසරේ ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කර තිබුණේ දෙසැම්බර් මාසයේ දීයි. එම සංඛ්‍යාව අමෙරිකානු ඩොලර් මිලියන 476 ක්. 2022 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස  මෙරටට ලැබී තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 384ක් පමණයි.