සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු ලිට්‍රෝ සමාගමෙන් වැටුප් ලබා ගෙන ඇතැයි කියන සිද්ධිය මේ දිනවල දේශපාලන වේදිකාවේද ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

එම සමාගමෙන් වැටුප් ලබා ගත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ඇතැම් මාධ්‍ය ඔස්සේ ද පළකර තිබුණා.

මෙම තොරතුරු අනාවරණ වූයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියේ නඩුව කොළඹ ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එම සමාගම විසින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට රුපියල් 95,000ක දීමනාවක වවුචර් පත‍්‍රයක්ද ලබා දුන් බව එහි මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගම කොළඹ ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පිළිගත්තා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය පූජ්‍ය දඹර අමිල හිමියන්ගෙන් කල විමසීම් සදහා ප්‍රතිචාර දක්වා තිබුනා. උන්වහන්සේ එහිදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන ඕනෑම පරික්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි.

එහිදී “මම වංචාවක් කරලා තියෙනවා නම් හෝ කාට හරි තොරතුරු තියෙනවා නම් කල යුතු වන්නේ මාධ්‍යවලට කිය කියා ඉන්න එක නෙමෙයි. පොලිසියට පැමිණිළි කරලා නීතිය ක්‍රියාත්මක කරන එකයි. මාධ්‍යවල කෑ ගහනවාට වඩා වැදගත් වන්නේ ඒකයි.” යනුවෙන්ද සඳහන් කළා.