02-03-2022 (DVD-1096) Refugiados ucranios tras cruzar la frontera con Rumanía, en Siret. © Alex Onciu

යුක්රේනය තුළ රුසියාව විසින් ආරම්භ කළ හමුදා මෙහෙයම හමුවේ රටින් යුක්රේනයෙන් පළාගොස් සරණාගතයින් ලෙස සිටි මිලියන 02 ක පිරිස අතරේ යුක්රේන දරුවන් අට ලක්ෂයක් සිටින බව “සේව් ද චිල්ඩ්රන්” ආයතනය පවසනවා. එලෙස පළාගිය දරුවන්ගෙන් බොහෝ දෙනෙකු දේශ සීමා හරහා තනිව පැමිණි හා මව්පිය ආරක්ෂාවක් නොමැති දරුවන් බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. 

යුක්රේනය තුළ පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතැම් මව්පියන් සිය දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මංමුලා සහගත මෙන්ම හදකම්පා කරවන ක්‍රියාමාර්ගවලට යොමුවී ඇති බව ද “සේව් ද චිල්ඩ්රන්” ආයතනය සඳහන් කළා. 

ඒ අනුව යුද ගැටුම් දරුණුව පවතින ප්‍රදේශවල සිට අසල්වැසි රටවල් වෙත පැමිණෙන අසල්වැසියන් සහ මිතුරන් සමඟ සිය දරුවන් ද පිටත්කර යවා ඇතැම් මව්පියන් සිය නිවෙස් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් තුළ රැඳී සිටීමට යුක්රේනයේ වෙසෙන මව්පියන් මේවනවිට කටයුතු කරමින් සිටින බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. එලෙස සිය මව්පියන් විසින් ආරක්ෂාව පතා තනිව පිටමං කළ යුක්රේන දරුවෙකු පිළිබඳ ඉකුත් දා වාර්තා වුණා ඔහු කිලෝමීටර් 1200 ක පමණ දුරක් ගෙවා තනිව පැමිණ තිබුණේ ස්ලෝවැකියාවටයි. 

යුක්රේනයේ මේවනවිට පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ දරුවන් ලක්ෂ ගණනකගේ අනාගතය දැඩි අවදානමක පවතින බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. ගැටුම් හමුවේ මේවනවිට දරුවන් රැසක් ජීවිතක්ෂයටද පත්ව තිබෙනවා. යුද ගැටුම්වලට බියෙන් පළා යන යුක්රේන වැසියන් හේතුවෙන් පෝලන්තය හන්ගේරියාව සහ ස්ලෝවැකියාව ද මේවනවිට පත්ව සිටින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකටයි.

මේ අතර රුසියාව විසින් යුක්රේනයේ කිව් අගනුවර හා මරිපෝල් චර්නිව් සුමී හා කාකිව් යන නගරවල සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම නගරවල සිරවී සිටින පිරිස්වලට පළා යාමට අවස්ථාව ලබාදෙමින් සටන් විරාමයෙන් අනතුරුව රුසියානු හමුදාව අදාළ නගරවලට ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් බිය පළ කරනවා. කෙසේවෙතත් ලද අවස්ථාව අනුව සුමී නගරයේ සිරවී සිටි සිවිල් වැසියන් 5000 ක් පමණ ආරක්ෂිතව මුදා ගැනීමටයි යුක්රේන හමුදාව කටයුතු කර ඇත්තේ.

මේ අතර රුසියාව විසින් යුක්රේනය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව ගෙවී යන 13 වන දිනය අදයි. මේ වනවිටත් රුසියානු හමුදාව යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයකටම අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.