rakna lanka

රක්නා ලංකා සමාගම රජය සතු ආයතනයක් බවත්, මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ එම සමාගමට පමණක් බවත්, වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අදාළ සමාගම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශීය වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන  ආරක්ෂක නිලධාරීන් සපයා ගැනීමේදී එම සමාගමේ සේවාවන් කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබූ බවයි

ඒ අනූව අදාළ තීරණය ගැන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2010 .08 .12 දිනැති ලිපියෙන් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ඇති බවද ඒ මහතා පැවසීය.

පෞද්ගලික ආයතනවලින් සමුද්‍රාරක්ෂක කටයුතු සඳහා පුද්ගලයින් යෙදවීමේදී විධිමත් ක්‍රියාමාර්ගයක් ‍අනුගමනය නොකිරීම නිසා රක්නා ලංකා සමාගම විසින් එම කටයුතු විධිමත්ව සිදුකිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

එසේ රැකියා ලබාදීමේදී මෙරට කීර්තිනාමයට ද හානියක් වන බැවින් අවිධිමත් ලෙස එවැනි රැකියාවල නිරත වූ 146 දෙනෙකුගෙන් 105 දෙනෙකු ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය යටතේ රක්නා ලංකා සමාගමේ ලියාපදිංචි කර රැකියා ලබාදී ඇති බවද ඇමතිවරයා පැවසීය.

ඉතිරි පිරිස රක්නා ලංකා සමාගම යටතේ ලියාපදිංචි වී නැතැයිද ඔහු සඳහන් කළේය.

තවද රක්නා ලංකා සමාගම රජයට බදු මුදල් නිසි පරිදි ගෙවා ඇති බවත්, මේ යටතේ 2011 වසරේ සිට මේ දක්වා රුපියල් මිලියන 535ට වැඩි මුදලක් රජයට ගෙවා ඇති බවත්, ඒ මහතා කියා සිටියේය.

එසේ සිදුකර ඇත්තේ සෑම මුදල් වර්ෂයක් අවසානයේම සිදුකරන විගනනයට අනූව‍ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බවට තීරණය කරනු ලබන මුදල බවද, මීට අමතරව ඔවුන් විසින් ලාභාංශ ද මහ භාණ්ඩාගාරයට ගෙවා ඇති බව, ඒ මහතා පැවසීය.

ඇවන්ඩ්ගාඩ් හා රක්නා ලංකා සමාගම් සම්බන්ධයෙන් පසුගිය දිනවල රට තුළ ආන්දෝලනාත්මක කතා බහක් මතු විය.

ඒ අදාළ සමාගම්වලට මෙරට ආරක්ෂක කටයුතු සිදුකිරීමට නීත්‍යානූකූල භාවයක් හිමිවූයේ කෙසේද යන්න සිද්ධාන්තය පදනම් කර ගනිමිනි.

කෙසේ වෙතත් එම සමාගම් දෙකෙන් රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවේ දී ඉහත ප්‍රතිචාරය දක්වා තිබුණි.