55594857

ලාහුගල ප‍්‍රාදේශිය සභාවේ අද සිදුවු පක්‍ෂ මාරුවත් සමග එහි බල පෙරලියක් ද සිදුව තිබෙනවා.
මෙතෙක් මෙම ප‍්‍රාදේශිය සභාවේ බලය හිමිව තිබුණේ මන්ත‍්‍රී ආසන 07ක් දිනාගෙන සිටි එක්සත් ජාතික පක්‍ෂයටයි. එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට ආසන 04ක් පමණක් හිමිව තිබුණා.
කෙසේවෙතත් මෙම ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති අජිත් තුෂාන් ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු වන ජී.දයාරත්න හා ජී.විමලසේන යන මහත්වරුන් අද ජනාධිපතිවරයාට සහය පළකළ බවයි එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක මෙහෙයුම් කාර්යාලය පවසන්නේ.

ඒ අනුව ලාහුගල ප‍්‍රාදේශිය සභාවේ ආසන 11න් 07ක් දැන් හිමිව තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයටයි. එක්සත් ජාතික පක්‍ෂයේ ආසන ගණන 04කට සීමා වී තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාට සහය පළ කළ උප සභාපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් දෙදෙනා කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වෙතැයි තමන් බලාපොරොත්තුවෙන් සිටි බවයි.

එවැනි අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොවීම නිසා තමන් කළකිරීමට පත්වු බවද ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කළේ ඒ අනුව බවද ඔවුන් කියා සිටියා.