timthumb.php

පසුගිය ආණ්ඩුව සමයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රාජපක්ෂ ආණ්ඩුවේ සාමාජිකයන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට පසුගියදා කරන ලද  ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. එම නිවේදනයට අනුව 2005 වසරේ ජූනි 9 වැනිදා ඉදිරිපත් කරන ලද නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියර සඳහා මුල් ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 398 ක්.

එහෙත් එම වසරේම ජූලි මාසයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව අගෝස්තු 30 වැනිදා බලාගාරය සඳහා නිල ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 471 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. එම මිල ඉහළ යාම සිදුව ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව සමයේ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ පසු පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ඉහළ ගිය ඇස්තමේන්තුව  ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් දක්වා අඩුකරගැනීමට හැකිවූ බවද හිටපු ජනාධීපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

2005 වසරේ ජූනි හා අගෝස්තු අතර කාලසීමාව තුළ නොරොච්චෝල බලාගාරයේ ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 398 සිට 471 දක්වා වැඩිවූයේ කෙසේදැයි හිටපු ජනාධිපතිනිය පැහැදිළි කරන්නේ නම් මෙම සංවාදය ඉදිරියට ගෙන යා හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.