විදුලි බිල සතියකින් ඉහළ දමනවා ද යන්න පිළිබඳ අවධානයෙන් සිටින බව ත් යම් හෙයකින් බිල ඉහළ නැංවීමට කටයුතු කළහොත් අනිවාර්යයෙන් ම දැවැන්ත වෘත්තීය මෙන් ම දේශපාලන ක්‍රියාමාර්ග ද ජවිපෙ විසින් ආරම්භ කරනු ලබන බව එහි නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග දැන් තියා පැවසීම අවශ්‍ය නොවන අතර ආණ්ඩුව සතියක් කල්මරමින් සිටින්නේ කුමක් කිරීමට ද යන්න ගැන බලා සිටින බව ද ජවිපෙ නායකයා කීය.

දැනට විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාර ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ කර ඇති බව ත් ඒ අනුව දේශපාලන ක්‍රියාමාර්ග ද ගැනීමට සූදානම් බව ත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ පිළිබඳව ‘ලංවිම’ වෘත්තීය ඒකාබද්ධ සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල්ගෙන් ‘ඉරිදා මව්බිම’ කළ විමසීමකදී ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම සතියකින් කල් දැමූ නමුත් සතියක් ගතවී හෝ විදුලි බිල ඉහළ දැමීමට කිසිසේත් ම ඉඩක් නොතබන බව ඔහු පැවසීය.

එමෙන් ම, යම් හෙයකින් විදුලි බිල වැඩි කළහොත් එම වැඩි වන බිල ජනතාව නොගෙවිය යුතු බව ත් විදුලි විසන්ධි කිරීමේ රාජකාරි ලංවිම සේවකයන් විසින් ඉටුනොකර සිටීමේ තීරණයක් ගත් බව ත් ඔහු සඳහන් කළේ ය.

විදුලි බල ඇමති කංචන විජේසේකර ජනතාව පැත්තේ සිට නිවැරදි තීන්දුවක් ප්‍රකාශ නොකර ආණ්ඩුවේ මෙම ක්‍රියා කලාපය විවේචනය කරන පුද්ගලයන්ට හතර වටේට දෙස් දෙවොල් තැබීම ප්‍රායෝගික කරුණක් නොවන බව ද හෙතෙම වැඩිදුරට ත් කීය.